හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ අධි චෝදනා භාර දුන්නා.
ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළා.
ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළා.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළා.
එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාල ලේඛන වල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාල ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවයි.
ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළා.
2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනිත් එක ලෙස උපයාගත් රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබෙනවා.