28.4 C
Colombo
Saturday, July 12, 2025

ලංකාවේ දුම්රිය ස්ථානාධිපතිවරියන් නැත්තේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Published:

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම් අද ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා විසින්.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 13 වැනිදා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබූ බව සඳහන් කළා.

එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දුන් නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 12(2) ව්‍යවස්ථාවන් යටතේ පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝනය වන බව අවධාරණය කළා.

එමෙන්ම තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතියද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝනය වන බවයි නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ තුළින් සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට සඳහන් කොටස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාල ගැසට් නිවේදනය තුළින් පෙත්සන්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේදැයි සොයා බැලීම සඳහා විභාගයක් පැවැත්වීමට තීරණය කළා.

ඒ අනුව මෙම පෙත්සම අගෝස්තු මස 27 වැනිදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,234FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img