ඉරානයට එල්ල කළ ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ගුවන් ප්‍රහාරවලින් පසු ඔහුගේ සිරුර සොයා ගත් බවයි ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට ද පවසා තිබුණේ.
Truth Social හි සටහනකින් කමේනිගේ මරණය තහවුරු කිරීමෙන් පසු ට්‍රම්ප් පැවසුවේ මෙය ඉරාන ජනතාවට තම රට ආපසු ලබා ගැනීමට ඇති එකම ලොකුම අවස්ථාව බවයි.
ඔවුන්ගේ බොහෝ IRGC (විප්ලවවාදී ආරක්ෂකයින්), හමුදා සහ අනෙකුත් ආරක්ෂක සහ පොලිස් බලකායන් තවදුරටත් සටන් කිරීමට අකමැති බවත් අපට අසන්නට ලැබෙනවා යනුවෙන් ද ට්‍රම්ප් සඳහන් කළා.
ඉරාන බලධාරීන් ඔහුගේ මරණය තහවුරු කර නැහැ. ඉරාන බලධාරීන් පවසන්නේ කමේනි තවමත් මෙහෙයුම් සඳහා නායකත්වය ලබාදෙන බවයි.
මෙහෙයුමේ පළමු ඉලක්කවලින් එකක් වූ අලි කමේනිගේ ටෙහෙරාන් පරිශ්‍රයට සැලකිය යුතු හානියක් සිදුවූ බව චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කළා.
කෙසේ වෙතත් අලි කමේනි ඊට පෙර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබූ බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
ඉරානයේ රාජාණ්ඩුව පෙරළා දමා මැද පෙරදිග සොලවා දැමූ දිව්‍යාණ්ඩු විප්ලවයෙන් දශකයකට පසු, 1989 සිට ඔහු නායකත්වය දුන් ඉස්ලාමීය ජනරජයට කමේනිගේ මරණය දැවැන්ත පහරක් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.



