හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම ඊයේ සිදු කළා.
ඊශ්‍රායෙලය තම කොන්දේසි පිළිගෙන ඇති බවත් හමාස් සංවිධානයත් එය පිළිගත යුතු බවත් Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා.
තම කොන්දේසි පිළි නොගැනීමේ ප්‍රතිවිපාක පිළිබඳවත් ඔහු හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බවත් මින් ඉදිරියට තවත් අනතුරු ඇඟවීම් සිදු නොකරන බවත් ට්‍රම්ප් පැවසුවා.
කෙසේ වෙතත් ඉන් පසුව හමාස් සංවිධානය නිවේදනය කළේ ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා මැදිහත්කරුවන් හරහා එක්සත් ජනපදයෙන් අදහස් කිහිපයක් ලැබුණු අතර, එම අදහස් වර්ධනය කර ගත හැකි ක්‍රම සාකච්ඡා කරමින් සිටින බවයි.
යුද්ධය අවසන් කිරීම පිළිබඳ පැහැදිලි නිවේදනයක්” සහ ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නේ නම් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සූදානම් බව හමාස් සිය නිවේදනයේ නැවත අවධාරණය කළා.
සෙනසුරාදා ඊශ්‍රායලයේ N12 ප්‍රවෘත්ති වාර්තා කළේ ට්‍රම්ප් හමාස් සංවිධානයට නව සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.
මෙම ගිවිසුම යටතේ, ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීන සිරකරුවන් දහස් ගණනක් වෙනුවට සටන් විරාමයේ පළමු දිනයේදීම හමාස් සංවිධානය ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා නිදහස් කරන අතර, එම ප්‍රදේශයේ සටන් විරාමයක් අතරතුර යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කරනු ඇති.