31.7 C
Colombo
Sunday, July 6, 2025

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

Published:

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාවද පිරිනැමුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමින්.

පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට, වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති මෙම යුගයේදී රටත්, සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද පැවසුවා.

එසේම, රාජ්‍ය සේවය පුරවැසියන්ට ඉහළින් තිබෙන සහ ජනතාව සමග කිසිදු සබඳතාවක් නොමැති යාන්ත්‍රණයක් නොවිය යුතු සේම, තීන්දු තීරණ ගැනීමේදී සෑම විටම, එම තීන්දුවලින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්දැකීම් බහුල සහ ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ මහින්ද සිරිවර්ධන මහතාගේ රාජකාරී ජීවිතයෙන් තරුණ රාජ්‍ය නිලධාරින්ට ලබා ගත හැකි ආදර්ශ බොහෝ බවද සඳහන් කළා.

මෙහිදී අදහස් දැක් වූ මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව බවයි.

රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඒ මහතා, තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියක් වූ බවද සඳහන් කළා.

එසේම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ තිබූ විශ්වාසය, දරා ගැනීම සහ අසීමිත කැපවීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇති බවද මහින්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img