සිය මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසූ (Dr. Mohamed Muizzu) ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වුණා.
මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසූ සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා සිදු කළා.
මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසුමක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනුණා.
එසේම, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදයද, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුවද ඇමතුවා.