අද (01) අලුයම 1.15ට පමණ නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව – කටුනායක මාර්ගයේ උදම්මිට හංදියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිට තිබූ අතර එම අවස්ථාවේ සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර තිබෙනවා.
අදාළ වෑන් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේ දී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් නිට්ටඹුව නගරයේ ආලෝක සංඥා වැටී තිබිය දී වෑන් රථයේ ඉදිරිපස හා පිටුපස දකුණු ටයරයට ටී 56 ගිනිඅවියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබුණා.
අනතුරව වෑන් රථයේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලීසිය පවසනවා.
සැකකරුවන්ට තුවාල ඇත්තැයි පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතයොමු කර ඇති අතර, සැකකරුවන්ව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.