ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලය පැවති අවස්ථාවේදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතීඥ නුවන් බෝපගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.
නීතීඥ නුවන් බෝපගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කරන ලෙස දන්වා අධිකරණය විසින් නොතීසිද නිකුත් කළා.
අරගලය පැවති සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතීඥ නුවන් බෝපගේ විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මේ අතර ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදුන් සිද්ධියට අදාළ පැමිණිල්ලක, පළමුවෙනි සැකකරු ලෙස නම් කර ඇති, දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතක් ඔක්තෝබර් 01 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඔහු එවක බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි කටයුතු කළේ.
සිද්ධියේදී තුවාල ලැබූ විරෝධතාකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්දිකා කාලිංගවංස ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබුවා.