28.4 C
Colombo
Monday, July 14, 2025

පාසැල් ජල බිල්පත් ගෙවීම – චක්‍රලේඛය 2025 ජනවාරි සිට ක්‍රියාත්මකයි

Published:

පාසැල් ජල බිල්පත් ගෙවීම සම්බන්ධ චක්‍රලේඛයේ ප්‍රතිපාදන 2023 වසරේ ජූලි මස 5 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අදාළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

රාජයේ පාසැල්වල සහ පිරිවෙන්වල ශිෂ්‍යයෙකුගේ මෙන්ම, අධ්‍යයන සහ අනධ්‍යයන සේවකයෙකුගේ මාසික ජල පරිභෝජනය ලීටර් 400ක් බවට ගණනය කර ඇති බවයි පසුගිය 7 වැනිදා දිනැතිව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම ගණනයට අනුව අදාළ පාසැලේ මාසික ජල පරිභෝජනය ගණනය කරනු ලබන අතර, ඊට යටත්ව සිදුවන ජල පරිභෝජනයට අදාළ ගාස්තු රජය විසින් ගෙවනු ලබනවා.

සම්මත ජල පරිභෝජනය ඉක්මවා යන්නේ නම් වැඩිවන ජල පරිභෝජනයට අදාළ ගාස්තු පාසැල් සංවර්ධන සමිතිය මගින් සහ පිරිවෙනක් නම් වාර්ෂික ආධාර මුදලින් හෝ පිරිවෙන් සංවර්ධන අරමුදලින් ගෙවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

2023 වසරේ ජූනි මස 01 වැනිදා සිට 2024 දෙසැම්බර් මස 30 වැනිදා දක්වා ඇති හිඟ ජල බිල්පත් ගෙවීම ද එම ක්‍රමවේදයටම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

හිඟ මුදල් එකවර ගෙවීමේදී මූල්‍යමය අපහසුතාවක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් හමු වී සහන කාලයක් ලබා ගැනීමට ඉල්ලීම් කළ හැකි බව ද එහි සඳහන්.

එමෙන්ම, පාසැලේ විදුහල්පති නිවාස සහ ගුරු නිවාස සඳහා වෙන් වෙන්ව ජල සැපයුම් සබඳතා ලබාගත යුතු අතර, ඊට අදාළ බිල්පත් එම නිවාසවල පදිංචි නිලධාරීන් ගෙවිය යුතු වනවා.

පිහිනුම් තටාක වැනි සුවිශේෂ ජල අවශ්‍යතා සඳහා ලබා ගන්නා ජල සැපයුමට අදාළ ගාස්තු ඒ ආශ්‍රිතව ලැබෙන ආදායමෙන් ගෙවිය යුතුයි.

මේ දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් කිසිදු ජල සැපයුම් සම්බන්ධතාවක් ලබාගෙන නොමැති පාසැල් හෝ පිරිවෙන් සඳහා එක් පොදු ජල සබඳතාවක් පමණක් සම්බන්ධතා ගාස්තු අය කිරීමකින් තොරව ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img