29.5 C
Colombo
Saturday, August 23, 2025

හිටපු ජනපතිගේ සුවදුක් බලන්න මහින්ද සහ සජිත් එයි

Published:

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා අද (23) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසක් ඊයේ (22) රාත්‍රියේම නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි තිබුණා.

ඔවුන් බන්ධනාගාරය වෙත පැමිණිය ද ඉන් ඇතුළුවීමට අවසර නොලැබුණු අතර, පසුව බන්ධනාගාරය පිටත රැඳී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මෙහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ සැප්තැම්බර් මස 22 වනදා සහ 23 යන දිනවල සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බ්‍රිතාන්‍යයේ සිදු කළ පුද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ 33 ක් සටහන් කර ගෙන ඇති බවත් ඔහු එහිදී අධිකරණය හමුවේ පැවසුවා.

2023 වසරේ සැප්තැම්බර් මස 13 වනදා සිට 20 වනදා දක්වා කාල සීමාව තුළ කියුබාව සහ ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමෙන් පසුව සැප්තැම්බර් මස 22 වනදා ඔහු පුද්ගලික සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් තිබුණා.

සිය බිරිඳගේ සම්මානිත මහාචාර්ය පදවිය ලබා ගැනීම සඳහා ඔහු එහි ගොස් තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පැවසුවා.

තවද එම ගමන සඳහා හිටපු ජනාධිපති සමග ඔහුගේ බිරිඳ, පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, වෛද්‍යවරයෙකු සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනෙකු සහභාගී වී ඇති බවත් ඔහු මෙම සංචාරයට සහභාගී වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනයක් අනුව නොවන අතර, මේ සඳහා මුදල් අනුමත කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් බවත් ඔහු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළා.

මෙම දින එක හමාරක සංචාරය තුළ වාහන සඳහා රුපියල් 4,475,160 ක් මුදලක්ද වාහන අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 14 ආසන්න මුදලක්ද ආහාර පාන සඳහා රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක්ද, හෝටල් පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 34 කට ආසන්න මුදලක්ද ගුවන් තොටුපොළේ අමුත්තන් පරිහරණය කරන ස්ථානය වෙන් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් 6,000 මුදලක් වැය කර තිබෙන බවත් ඔහු පැවසුවා.

මෙම සංචාරයට සහභාගි වූ පොලිස් නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් 3,274,301/- ක් මුදලක් ගෙවා ඇති බවත් සැකකරුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියට රුපියල් 39,000/- ක දීමනාවකුත් ගෙවා ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ පැවසුවා.

තවද එම වකවානුවේ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තුළින් රටේ පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් රාජ්‍ය මුදල් වැය කිරීමට උපදෙස් ලබාදී තිබුණු බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක ඩොලරයක් සොයා ගැනීමට පවා අපහසු තත්ත්වයක් තිබූ අවස්ථාවක පාලකයා වශයෙන් මෙම සැකකරු සිය පෞද්ගලික සංචාරය සඳහා මේ ආකාරයෙන් රජයේ මුදල් වැය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව මෙම වියදම් සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණා.

රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දායි.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img