ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්වුණා.
වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින් එම ශක්තිමත් පදනම මත, ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් හා නව ආර්ථික අවස්ථා ග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළා.
ශ්‍රී ලංකාව හමුවේ ඇති වත්මන් ආර්ථික අභියෝග පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කළ ජනාධිපතිවරයා එකී අභියෝග හමුවේ වුවද, 2026 අයවැයෙන් මෙරට ජනතාවට අවශ්‍ය සහන සලසාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද සිහිපත් කළා.
රට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය තීරුබදු සහන ඇතුළු පහසුකම් ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවත්, අඛණ්ඩවත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉදිරියටද ශ්‍රී ලංකාවට හිමි වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.
මේ වනතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට හිමිවන ආර්ථික වර්ධනයේ සියලු ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කළා.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන කැපවීම අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටද එකඟතාව පළ කළා.