ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති උත්සව සභාව අමතමින්.
ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වලද නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනතුරුව, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා.
රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමටද එක් වූ ජනාධිතිවරයා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවටද සහභාගී වුණා.
ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත බවයි.
ලොව දියුණු යැයි සම්මත සෑම රාජ්‍යයක්ම එම දියුණුව අපේක්ෂා කරන්නේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සහ ඒ මත පා තබාගෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස අපද සංවර්ධන මාවත තෝරාගත යුතු වන්නේ ඓතිහාසික උරුමයන් මත පා තබා ගනිමින් බව සඳහන් කළා.
වසර 2186ක් පුරා පරම්පරා සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම රුහුණු කතරගම පෙරහර මංගල්‍යය පවත්වා තිබෙන බවත්, අඛණ්ඩව මෙම පෙරහර පැවැත්වීමට හැකි වූයේ මෙම සංස්කෘතික මංගල්‍යය සහ ජන ජීවිතය අතර තිබෙන සබඳතාව නිසා බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීමට දායක වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සියලුදෙනා වෙත ස්තූතිය පළ කළා.


