චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයෙහි ප්‍රධාන තේමාව වන්නේ, ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්නයි.
චීන යුද ශක්තිය ලොවට පෙන්නුම් කරන මෙම පෙළපාලිය ජාත්‍යන්තරය තුළ දැඩි අවධානයක් දිනාගත්තේ, බටහිර රටවල දැඩි සම්බාධකවලට මුහුණදෙන උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොන්ග් උන් සහ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීන ජනාධිපති සී ජින් පින් සමඟ ඉතිහාසයේ පළමු වරට එකම වේදිකාවකට එක්වීම හේතුවෙන්.
මීට අමතරව ඉරාන සහ කියුබානු නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් මෙම සැමරුමට සහභාගී වුණා.
මිනිත්තු 70ක කාලයක් පැවති යුද පෙළපාලියේදී චීනයේ අතිනවීන යුද උපකරණ, ගුවන්යානා ආදිය ප්‍රදර්ශනය කෙරුණු අතර චීන සෙබළුන්ගේ අද්විතීය පෙළපාලිය දැඩි ආකර්ශනයක් දිනාගත්තා.
කිසිදු ප්‍රචණ්ඩත්වයකට බිය නොවන චීන ජාතිය, ස්වශක්තියෙන් නැගී සිටින ශ්‍රේෂ්ඨ ජාතියක් බව චීන ජනාධිපති ෂී ජින්පිං යුද සැමරුම අමතමින් සඳහන් කළා.
ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයට සහභාගී වූ ප්‍රවීණයන්, සහෝදරවරුන්, දේශප්‍රේමීන්, ප්‍රවීණ සොල්දාදුවන් සහ එම යුද්ධයේ ජයග්‍රහණය සඳහා මනා දායකත්වයක් ලබා දුන් දෙස් විදෙස් චීන ජනතාව වෙත ෂී ජින් පිං ඉහළම ගෞරවය පුදකළා.
එමෙන්ම එවක චීන ජනතාවට සහාය දුන් විදේශීය රජයන්ට සහ ජාත්‍යන්තර මිතුරන්ට ද චීන ජනාධිපතිවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළා.
ඉතිහාසය කියා දී ඇත්තේ, මානව වර්ගයාට ඇත්තේ එකම ඉරණමක් පමණක් බවත් විවිධ ජාතීන්, එකිනෙකාට සමානව සලකමින් සමගි සම්පන්නව ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර යුද විපත් නැවත සිදුවීම වැළැක් විය හැකි එකම ක්‍රමය එය බව ද පැවසුවා.
මේ අතර අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත චීනයේ දී සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිං වෙත විවේචනයක් එල්ල කර තිබුණා.
Truth Social ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු සඳහන් කළේ
“පිළිතුරු දිය යුතු ලොකුම ප්‍රශ්නය නම්, ඉතා මිත්‍රශීලී නොවන විදේශීය ආක්‍රමණිකයෙකුගෙන් තම නිදහස ලබා ගැනීමට ඇමරිකාව චීනයට ලබා දුන් දැවැන්ත සහයෝගය සහ ‘රුධිරය’ ගැන චීන ජනාධිපති ෂී සඳහන් කරයිද නැද්ද යන්නයි. චීනයේ ජයග්‍රහණයේ මහිමය වෙනුවෙන් බොහෝ ඇමරිකානුවන් මිය ගියා. ඔවුන්ගේ නිර්භීතකම සහ පරිත්‍යාගය වෙනුවෙන් ඔවුන්ට නිසි ගෞරවය සහ අනුස්මරණය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා! ජනාධිපති ෂී සහ චීනයේ අපූරු ජනතාවට ශ්‍රේෂ්ඨ හා කල් පවතින සැමරුම් දිනයක් වේවා. ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ඔබලා කරන කුමන්ත්‍රණයට ව්ලැඩිමීර් පුටින් සහ කිම් ජොන් උන් වෙත කරුණාකර මගේ උණුසුම් සුභ පැතුම් එක් කරන්න” යනුවෙන්.