මානුෂිය ආධාර රැගෙන ගාසා තීරය වෙත ගමන් ගත් සමාජ ක්‍රියාකාරීන්ගෙන් සන්විත මැඩ්ලීන් යාත්‍රාව ඊශ්‍රායල හමුදාව විසින් අල්ලා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එම යාත්‍රාව සහ එහි ගමන් ගත් පිරිස මේ වන විට ඊශ්‍රායලය වෙත රැගෙන යමින් සිටින බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇති බවයි.
Freedom Flotilla Coalition නම් සංවිධානයේ මෙහෙයවීම හමුවේ ගාසා තීරය වෙත යාත්‍රා කරන මෙම කණ්ඩායම පසුගිය ජූනි 01 වන දින දකුණු ඉතාලියේ සිසිලි දූපත්වලින් ගමන් ආරම්භ කර තිබුණා.
ඊශ්‍රායලය හමුදාව විසින් අද (09) අළුයම 2ට පමණ එම යාත්‍රාව සිය ග්‍රහණයට පත් කර ගන්නා අවස්ථාවේදී එය ගාසා තීරයේ සිට සැතපුම් 100ක පමණ දුරකින් යාත්‍රා කරමින් තිබුණා.
යාත්‍රාවේ ගමන් ගත් සියලු දෙනා ආරක්ෂිතව සිටින බවත් ඔවුන්ට ආහාර සහ ජලය ලබා දුන් බවත් ඊශ්‍රායල බලධාරීන් පවසා තිබෙනවා.
එහි සිටි ග්‍රේටා තුන්බර්ග් ඇතුළු අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින ආකාරය සහ ආහාර සහ ජලය ලබා දෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ ඊශ්‍රායලය විසින් සිය සමාජ මාධ්‍ය නාලිකාවල පළ කර තිබෙනවා.
ඊශ්‍රායලය චෝදනා කරන්නේ, ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන එන බව පවසමින් මෙම පිරිස මාධ්‍ය ප්‍රකෝප කරමින්, ප්‍රචාරණයක් ලබා ගැනීමේ ප්‍රයත්නයක නිරතව ඇති බවටයි.
ගාසා තීරයට ආධාර ලබා දීමේ ක්‍රමවේදයක් පවතින නමුත්, Instagram සමාජ මාධ්‍ය තුළ සෙල්ෆි ඡායාරූප පළ කිරීමෙන් එය ඉටු නොවෙන බවද පවසා තිබෙනවා.
මේ අතර, මැඩ්ලීන් යාත්‍රාවේ ගමන් ගත් පිරිස ඇතුළත් වීඩියෝ පට කිහිපයක් Freedom Flotilla Coalition සංවිධානයේ නිල X ගිණුමෙහි පළ කර තිබෙනවා.
එම වීඩියෝ පට ඔවුන් ඊශ්‍රායල හමුදාවේ ග්‍රහණයට පත්වීමට පෙර පටිගත කළ බව හැඟවෙනවා.
ජාත්‍යන්තර මුහුදේදී ඔවුන්ව ඊශ්‍රායල හමුදාව විසින් පැහැර ගෙන ඇති අතර ඔවුන්ව නිදහස් කරන මෙන් රජයට බල කරන ලෙස සිය රටවල පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවට මැඩ්ලීන් යාත්‍රාවේ ගමන් ගත් සියලු ක්‍රියාකාරිකයින් බෙදාහරින පණිවිඩයක් එම වීඩියෝවල ඇතුළත් වී තිබෙනවා.
මෙම නෞකාවේ ගමන් ගන්නා පිරිසට ඇතුළත්ව ඇත්තේ, ස්වීඩන ජාතික ක්‍රියාකාරිනිය වන, ග්‍රේටා තන්බර්ග්, Game of Thrones කතා මාලාවේ රඟපෑ නළුවෙකු වන ලියම් කනිංහැම්, රීමා හසන්, ජර්මනියේ යසමින් අකාර්, ප්‍රංශයේ රීවා වියාඩ්, බැප්ටිස්ට් ඇන්ඩ්‍රේ, තියාගෝ අවිලා, ඕමාර් ෆායාඩ්, පැස්කල් මොරියරාස්, යානිස් මහම්ඩි සහ සුයිබ් ඕර්ඩු(තුර්කිය), සර්ජියෝ ටොරිබියෝ( ස්පාඤ්ඤය), මාර්කෝ වැන් රෙන්ස් ( නෙදර්ලන්තය) යන අයයි.