28.4 C
Colombo
Sunday, September 7, 2025

සියඹලාණ්ඩුව රිවිදනවි සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹේ

Published:

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

මෙගාවොට් 100 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 140 ක්.

මොණරාගල – සියඹලාණ්ඩුව – කොටියාගල ප්‍රදේශයේ අක්කර 500 ක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කිරීම කෙරෙන මෙම ව්‍යාපෘතිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ව්‍යාපෘති භූමිය, ප්‍රවේශ මාර්ගය සහ ආදාළ සියලු අනුමැතීන් සහිතව ව්‍යාපෘති ආයෝජක වෙත ලබාදුන් පළමු ව්‍යාපෘතියයි.

මෙරට වාර්ෂික විදුලිබල පරිභෝජනය ගිගාවොට්පැය 15,000- 16,000ක අතර ප්‍රමාණයක් වන අතර මෙම ව්‍යාපෘතිය මගින් ගිගාවොට්පැය 219ක් වාර්ෂිකව ජාතික පද්ධතියට එක් වනවා.

ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන රුපියල් බිලියන 21ක විදේශ විනිමයක් වාර්ෂිකව රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව එක අක්කරයකින් දළ වශයෙන් රුපියල් මිලියන 41ක විදේශ විනිමයක් රටට ඉතිරි වනු ඇති.

මෙරට තිරසර සංවර්ධනයේ සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වන රිවිදනවි ව්‍යාපෘතිය හේතුවෙන්, වායුගෝලයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 150,000ක් පමණ අඩුවේ යැයි අපේක්ෂිතයි.

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් පැය 12ක බැටරි ගබඩා පහසුකම්ද සහිත වීම නිසා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේදී විශාල සහයක් වනු ඇතැයි සැලකෙනවා.

මෙම සූර්ය බලශක්ති උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය, ජනන පද්ධතියක් වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 27ක දිගින් යුත් 132 kv නව සම්ප්‍රේෂණ පද්ධතියක්ද ඉදි කෙරෙන අතර ආයෝජකයා විසින් සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදි කරනු ලබන මෙරට පලමු බලශක්ති ව්‍යාපෘතියද මෙයයි.

එසේම මොනරාගල ප්‍රදේශයේ ඉදි කෙරෙන 132 kv නව ග්‍රිඩ් උපපොළක් ද මීට ඇතුළත්.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ලක්දනවි සමාගම සහ වින්ඩ් ෆෝස් (WindForce PLC) සමාගම ඒකාබද්ධව පිහිටුවන ලද “රිවි දනව්” පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙරට බලශක්ති ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව ඇති කරමින් ව්‍යාපෘතියේ කටයුතු 2027 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img