විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
එම ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වනජීවී ආරක්ෂක සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මෙම දැනුම් දීම සිදු කළා.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ, ප්‍රියන්ත ප්‍රනාන්දු , යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමෙන් අනතුරුව එය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බවයි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල ගැසට් නිවේදනය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් නිවේදනය ඉවත් කළ බව ප්‍රකාශයට පත් කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව කටයුතු කිරීමට වග උත්තරකරුවන් සූදානම් බව මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.
ඉන් අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා අදාළ පෙත්සම ඔක්තෝබර් මස 10 වන දා යළි කැඳවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.