ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය සඳහා මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි , නිදහස් කරන ලද වෙළෙඳ නීති ඔස්සේ හැකියාව ලැබෙන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා.
මෙම පහසුකම ඇඳුම් අයිතමය මත රඳා පවතින බවයි මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපොළට පෙර නොවූ විරූ ප්‍රවේශයක් ලබාදෙන නිදහස් කරන ලද වෙළඳ නීති පිළිබඳ විස්තර බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කර තිබෙනවා.
ලිහිල් කරන ලද නීති යටතේ වන මෙම නව පහසුකම් ක්‍රියාත්මක වන්නේ 2026 මුල් භාගයේ සිටයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) වැඩිදියුණු කිරීම මඟින් නව රෙගුලාසි ලිහිල් කළ බවයි බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙන්නේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇඟලුම් දැන් එක්සත් රාජධානියට තීරුබදු රහිතව ඇතුළු වීමට තවදුරටත් ඉඩ සැලසෙනවා.
මේ යටතේ ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේදී සැකසුම් අවශ්‍යතා අදාළ වන්නේ අවම මට්ටමකින්. එමඟින් සැලකිය යුතු නිෂ්පාදන ක්‍රියාවලීන් දෙකක් (උදා: රෙදි මෙන්ම ඇඟලුම් නිෂ්පාදනය) ශ්‍රී ලංකාවේ සිදු විය යුතු බවට වන රීතිය ඉවත් කෙරෙන බවයි බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ ශ්‍රී ලංකාවට මෙම පහසුකම් සැලසෙනවා.