කතරගම ඓතිහාසික වැඩ සිටිකන්ද පුදබිමේ ස්ථාපිත පොලිස් මුරපොල එම ස්ථානයෙන් ඉවත්කර නැති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත විහාරාධිපති හිමියන් විසින් ලියන ලද ලිපියක් බවට ඇඟවෙන සමාජමාධ්‍ය තුළ සංසරණය වන ලියවිල්ල අසත්‍ය එක්ක බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින ලියවිල්ලකට අදාළව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පෙන්වා දෙන්නේ කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙතින් වාර්තාවක් කැඳවීමෙන් අනතුරුවයි.
එබැවින් එම පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි වැඩිදුරටත් අනාවරණය කරන්නේ.
ඒ අනුව, වැඩසිටිකන්ද පුදබිමෙහි ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පොලිස් හා යුද හමුදා නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර පුද්ගලානුබද්ධ ආරක්ෂාව නොව ස්ථානයේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
වැඩසිටිකන්ද පොලිස් මුරපොලට අනුයුක්තව සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කර කතරගම පොලිස් වසමේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ රාජකාරි සඳහා යොදවා තිබෙනවා.
නමුත් එම ලිපියේ සඳහන් පරිදි වැඩසිටිකන්ද පුදබිමේ පොලිස් ආරක්ෂාව පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙන්නේ.