31.1 C
Colombo
Monday, September 8, 2025

හිතක වෙහෙස නිවන තැන

Published:

“කාල මිනුම් යුගයෙන් කල්පෙන් එපිට
වාත මේඝ ඉරහඳ මිහිතල අවට
නෑර දසත මගෙ බස ඇසුණත් කුමට
සෝක මහද නැත වැටහෙන්නේ ඔබට “

-මොනිකා රුවන්පතිරණ – තහනම් දේසයකින්-

ආදරය, සෙනෙහස… සමාන පද මොනතරම් තිබුණත් ප්‍රේමය කියන්නේ මට ඔබටවත් ඔබට මටවත් අකුරෙන් අකුර කියාදෙන්න පැහැදිලි කරන්න බැරි අපූරු ම හැඟීමක්. හදවතකින් හදවතක් අල්ලලා පිරිමදින රිද්දන හැඟීමක්. කොහේදෝ තිබුණු ඔබේ මගේ හදවත් පුංචි දේටත් රිදවන තරමට එකට ළංකරන හැඟීමක්.

හදවත් බැඳෙන්නෙ නොහිතන නොපතන වෙලාවක. ඒත් ‘නුඹට සිත බැඳුණේ කිමැයි මා තවම නොදන්නෙමී ” කියලා ආදරේ දිග ම දුරක් ගිය හිතකට වුණත් හිතෙන්න පුලුවන්. ඒ තමයි ප්‍රේමයේ අරුමය.

මට මතකයි ඔයා මගෙන් මුලින් ම කැමතිද අහපු මොහොත… ළඟක නොහිටියත් ඒ මොහොතේ මං ඇස් පියාගෙන ඔය ඇස්වල දිස්නේ මොන වගේ ඇතිද කියලා හිතුවා. ඇස්වල පතුලටම එබිලා හිතට කොනිත්තලා අහන්න හිතුණා මේ හීනයක් ද හැබෑවක් ද කියලා. ඒත් හදවතට දැනුණ හැඟීම හැර ඇසින් දුටු සාක්ශි මොකටද සංසාරේ පතාගෙන එන ආදරේකට.

මතකයි මගේ අතින් අල්ලපු පළවෙනි දවස. ආත්මය ම හිරිවැටෙනවා කියන දේ අත්වින්දෙ ඒ මොහොතේ. හදවතින් හදවත අල්ලන් අතින් අත අල්ලන් ජීවිතේ කියන ගමනේ ප්‍රේමයේ මාවතේ ඒ හමුවීම අහඹුවක් නෙවෙයි කියලා හිතට දැනුණා.

කලබල වීදීයේ අයිනක, උයන් කොනක, වෙරළ කොනක ඔබේ ඇස් හොයාගෙන ඇවිත් ජීවිතේ වෙහෙස නිවාගත්ත විඩාබර දවස් තිබුණා. ඔය උරහිසෙන් හිස තියන් ඇස් පියාගෙන ජීවිතේ සුන්දර ම මිහිරි ම තැන් ගැන අපි කතා කළා. ජීවිතේ ගැන හීන ඇන්දා. වෙන් වෙන්න ලෝබකමින් හැම හවසක ම ඔබට සමුදෙනකොට මං අහපු සුපුරුදු ප්‍රශ්නය “මේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ නේද? ”

හැම ආදර කතාවක් ම සුන්දරයි. විරහව හමුවෙනකම්…. කව්ද එහෙම කියන්නේ. ආදරේ සුන්දරම තැන් හමුවෙන්නේ විරහව ඇතුළෙ. පුංචි පුංචි අමනාපකම් මැද දවස් ගණන් තරහවෙලා ඉද්දි දැනෙන විරහව සදාකාලික විරහවක් තරමටම හිතට බරයි. ආදරේ වෙනස් වෙලා ද ඔබ වෙනස් වෙලා ද මගෙන් වෙනසක් වෙලා ද? උත්තර නැති ප්‍රශ්න ගොඩක්… තනියම දුක් වෙද්දි අපේ ආදරේ හැම පුංචි මොහොතක්ම පවා මතකෙට එනවා. ඉතින් එහෙම විරහවක් කියන්නෙම ආදරේ අලුත් කරන ආදරේ වැඩි කරන මන්තරයක්….

අමනාපකම් මැද හිත්වල පිරෙන ආදරේ එක්ක හෙට අපි ආයෙමත් හමුවෙමු. දුරින් උන්නු ටික දවසට ඇස්වල පිරුණු දුක කම්මුල් දිගේ බේරෙන්න නොදී ඇඟිලි තුඩු දිගේ දියකරන්න. හදවතක වෙහෙස නිවන ඔබේ උරමඩල මත ආයෙමත් මගේ හිස සතපන්න. අපේ ආදරේ හීන කතා නැවතුණු තැනින් පටන් ගන්න.

ඒ හැමදේට ම වඩා ආයෙමත් ජීවත් වෙන්න. ආදරේ විතරක් අරන් පුරුදු මග ආයෙමත් අපි හෙට හමුවෙමු..

මේනුකා දම්සරණී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,550FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img