30 C
Colombo
Wednesday, August 27, 2025

මහ බැංකු අධිපතිගෙන් රටටම සුභ පණිවුඩයක්…

Published:

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබදව මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මහබැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සදහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකිබවයි. ඒපිළිබදව බැංකුවලට උපදෙස් මේ වන විට ලබා දී ඇති බවත් මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය. ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග මෙම අගය ලබන වසර අගවන විට 4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සදහා නව පනතක් මේ වන කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු සිදුකරන බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී සිදුවන අපහසුතා පිළිබදවද කාරක සභාවේදී අවධානය යොමුවිය. මේපිළිබදව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහබැංකු අධිපතිවරයාගෙන් විමසා සිටි අතර එසේ ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව ඒ පිළිබදව සොයා බලා අවශ්‍ය උපදෙස් බැංකුවලට ලබා දෙන ලෙස අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව ආයතන 126 කින් 22 ක් අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද ඇතැම් වාර්ෂික වාර්තා ලබා දීම වසර 7 ක් පමණ ප්‍රමාද කර ඇති ආයතන පවතින බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන බැවින්ද නියමිත කාලය තුළ වාර්ෂික වාර්තා භාරදීම පිළිබද ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන ජගත් කුමාර සුමිත්‍රාරච්චි, සහන් ප්‍රදීප් විතාන යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයීය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,441FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img