25 C
Colombo
Thursday, August 28, 2025

තෙල් නැවේ ගින්න නිවීමට ගන්නා වෑයම ( VIDEO )

Published:

තෙල් නැවේ ගින්න නිවීමට ගන්නා වෑයම ( VIDEO )

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ “නිව් ඩයමන්ඩ් (MT New Diamond)” නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ඉන්ධන නෞකාව වෙත සහන සැලසීම සඳහා හදිසි සහන සැලසීමේ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට අද (03) කටයුතු කළ බව පවසයි.

එම ආපදා සංඥාව කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත ලැබී තිබුණි.

නැ‍ගෙනහිර මුහුදේ ආපදාවට පත් මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස ග්‍රීක ජාතිකයන් 05ක් හා පිලිපීන ජාතිකයන් 18ක් කටයුතු කරමින් සිට තිබේ.

පැනමා ධජය යටතේ එම නෞකාව ලියාපදිංචි වී ඇත (IMO-9191424).

මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික්ටෝන් 270,000ක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස ආපදාවට පත්ව ඇති අතර එම නෞකාවේ භාවිතය සඳහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 1700 ක ප්‍රමාණයක්ද නෞකාවේ ගබඩා කර ඇති බව වාර්තාවී ඇත.

මෙහිදී නාවික හමුදාවට අයත් රණරිසි නෞකාව, ආපදාවට පත් නෞකාව වෙත ළඟාවී නාවික හමුදා මුදවා ගැනීමේ කණ්ඩායම් එම නෞකාව වෙත ගොඩබස්වා අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි පිලිපීන ජාතිකයෙකු වන එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා නෞකාවෙන් මුදවාගෙන තිබේ.

අනතුරුව ඔහුව කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කල්මුණේ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නෞකාව ආපදාවට පත්වන අවස්ථාවේ ඒ අසල යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක් වන එම්වී හෙලන් එම් (MV Helen M) නෞකාව ආපදාවට පත් නෞකාවේ කාර්ය මණ්ඩලයේ ග්‍රීක ජාතිකයින් 03ක් සහ පිලිපීන ජාතිකයින් 16ක් බේරා ගැනීමට සමත් වී තිබේ.

එම බේරාගත් පිරිස නාවික හමුදාව මගින් ආරක්‍ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතව ඇත.

තවද, ආපදාවට පත් නෞකාවේ කපිතාන් සහ තවත් කාර්යමණ්ඩල සාමාජිකයෙකු නාවික හමුදා සයුර නෞකාව මගින් ආරක්‍ෂිතව මුදවාගෙන ඇති අතර, ආපදාවට පත් නෞකාවේ එක් පිලිපීන් ජාතික නාවිකයෙකු අනතුරෙන් පසුව මේ වන තෙක් සොයා ගැනීමට හැකිවී නොමැත.

එසේම මෙම අවස්ථාවේදී ආපදාවට පත් නෞකාව වෙත සහය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවන් දෙකක්ද (02) හම්බන්තොට වරායෙන් මෙම ආපදාවට පත් නෞකාවට සහය වීම සඳහා මේ වන විට පිටත්ව ගොස් ඇත.

තවද, පසුගියදා සැපයුම් අවශ්‍යතාවයන් සඳහා හම්බන්තොට වරාය වෙත පැමිණි රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකාවන් ද්විත්වයක්ද මෙම මෙහෙයුම සඳහා මේ වන විට හම්බන්තොට වරායෙන් පිටත්වී ඇති අතර, ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් “සෞර්යා” නෞකාව එම ස්ථානයට ළඟාවී ගින්න නිවීම ආරම්භ කර ඇති අතර, ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුධ නෞකාවන් තුනක්ද සහන සැලසීම හා ආපදා කළමණාකරනය සඳහා මෙම ස්ථානයට ළඟා වෙමින් පවතී.

එමෙන්ම, පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව මෙලෙස මුදවාගත් ආපදාවට පත් නෞකා කාර්යමණ්ඩලයේ පිරිස් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ප්‍රථිකාර සඳහා යොමු කිරීමට සහ හුදෙකලා කිරීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, මෙම ආපදා තත්වය හේතුවෙන් සිදුවිය හැකි තෙල් කාන්දුවීමේ අවධානම අවම කිරීම සහ කළමණාකරනය කිරීම සඳහා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

අන්තර් ජාතික සම්මුතීන් යටතේ ඇති ජාත්‍යාන්තර බැඳීම් අනුව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර, මීට පෙරද නාවික හමුදාව මෙම කළාපය තුල ආපදාවට පත් වූ නෞකාවන් සහ යාත්‍රාවන් වෙතින් ලැබුණු ආපදා සංඥා ගණනාවකට ප්‍රතිචාර දක්වමින් එම නෞකා සහ යාත්‍රාවන් වෙත අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ “නිව් ඩයමන්ඩ් (MT New Diamond)” නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇති විය.

එම නෞකාවේ කාර්ය මණ්ඩලය මුදාගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අද පෙරවරුවේ සිට මෙහෙයුමක් දියත් කළේය.

ඒ සඳහා ‘‘සයුර“ සහ ‘‘රණවැසි“ නෞකාව මෙන්ම ඩෝරා යාත්‍රාවක් යොදාගෙන තිබුණි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, ගුවන් හමුදාව විසින් නෞකාව නිරීක්ෂණය සඳහා “බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක්“ සහ “Mi-17“ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යෙදවු බවය.

එම යානවලින් ලබා ගත් විඩියෝ දර්ශන පහත දැක්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img