31.7 C
Colombo
Tuesday, August 26, 2025

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද…?

කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති.

කන්දකාඩු හි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙන් ආසාදිත පොකුරක් මතුවීම මෙන්ම සමාජය තුළ වෛරසය පැතිරීම පාලනය සඳහා ගෙන තිබූ පියවර ලිහිල් කිරීමෙන් දැනට මතුවී ඇති තත්ත්වය පිළිබඳ ඔවුහු සිය අවධානය යොමු කරති.

“රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කෝවිඩ්-19 වසංගතය ප්‍රජාව තුළ පැතිර යාමේ දැඩි අවදානමක් මේ වනවිට පවතින බව අපගේ අදහස,” යැයි සිකුරාදා (ජූලි 10) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටින්නේ “කෝවිඩ්-19 පාලනය සඳහා මාර්ගෝපදේශ මෙතෙක් නීතිගත නොකිරීමේ තත්ත්වය මත, දැඩි කැපවීමකින් පාලනය කරගත් වසංගතය යළි හිස එසවීමේ අවදානමක් ඇති,” බවකි.

මේ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පිළිතුරු දුන් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුගත් සමරවීර කියා සිටියේ වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශවලින් ප්‍රමාණවත් පියවර ගන්නා බවය. එහෙත් ප්‍රජා දායකත්වයේ හිඩැසක් පෙනෙන බව ඔහු සඳහන් කළේය.

කන්දකාඩු හි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින් අතරින් එහි සේවා සම්පාදකයින් ඇතුළු කිහිපදෙනෙක් ප්‍රජාව අතරට ගොස් ඇති බවත් ඔවුන් හඳුනා නිසි පියවර ගැනීම ක්‍රියාත්මක බවත් වෛද්‍ය සමරවීර පැවසීය.

විදේශවලින් පැමිණි පුද්ගලයින්ද ඇතුළුව සිකුරාදා දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 296 කි. එය මෙතෙක් එක් දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවය.

දිනක වැඩිම ආසාදිතයින්

සමාජය තුළ පාලනය “වේගයෙන් ලිහිල් කිරීම”

අලුත් ආසාදිත පොකුරක් මතුවීම හා ඒ ආශ්‍රිත ඇතැමුන් ප්‍රජාව වෙත යොමු වීම එක් පසෙකින් සිදුවෙද්දී සමාජය තුළ ආරක්ෂණ පිළිවෙත් ලිහිල් වීම සම්බන්ධයෙන් ඇතැම් අංශවලින් මේ වනවිට පළ වී ඇත්තේ කණස්සල්ලකි.

පොදු රැස්වීම් පිළිබඳ සීමා ලිහිල් කිරීම, පොදු ප්‍රවාහන සේවා පෙර පරිදි ක්‍රියාත්මක කිරීම, විනෝදාත්මක ක්‍රියාකාරකම් පුළුල් ලෙස විවෘත කිරීම හා වෙනත් ප්‍රශ්නකාරී ක්‍රියා පිළිවෙත් හේතුවෙන් ජනතාව රෝග ආරක්ෂණ පිළිවෙත්වලින් ඈත්වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම පවා නියමිත පරිදි සිදු නොවන බව පෙනී යන්නේ යැයි පවසන එම සංගමය, එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ කෝවිඩ්-19 අවදානම් තත්ත්වය තවදුරටත් නොමැති බව හැඟවෙන ලෙස, මීට පෙර තිබූ දැඩි පාලනය “ඉතා වේගයෙන් ලිහිල් කිරීම” ය.

වෛද්‍ය සංගමය

ඒ අනුව රෝග පාලන පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය වෘත්තිකයින්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අනුගතවන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මේ අතර සමාජය වෙත පසුගිය දිනවල ලැබුණු ඇතැම් පූර්වාදර්ශ හේතුවෙන් මෙතෙක් කළ කැපවීම අපතේ යාම පමණක් නොව මේ වනවිට සිය රාජකාරී ඉටුකිරීම ද අපහසුවී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

“ජනතාව මෙන්ම නිලධාරීන් කළ කැපකිරීම උපහාසයට ලක්කිරීම තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමගුලේ සිට විශාල ප්‍රමාණයේ මැතිවරණ රැස්වීම් දක්වා විහිද ගිහින් තිබෙනවා. අපිට බිමේ කිසිසේත් රාජකාරි කළ නොහැකි තත්ත්වයක් උදාකරලා තිබෙනවා.” යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේය.

නිරෝධායන නීති ආරක්ෂා කිරීමකින් තොරව හා පාලනයකින් තොරව අවදානමට ලක්කෙරෙන ආකාරයෙන් පවත්වන කුඩා පරිමාණ හා මහා පරිමාණ දේශපාලන රැස්වීම් පිළිබඳ ජනතාව තමන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනාවයිරසය පැතිරීම පාලනය කිරීමේදී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ආදී පියවර මෙම මැතිවරණ සමයේ පැවැත්වෙන දේශපාලන රැස්වීම් ඇසුරේ ද දකින්නට ලැබෙන බව බීබීසී සිංහල සේවයට අදහස් පළකළ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ ද සඳහන් කළාය.

සමාජ දුරස්ථභාවය තබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඈ තවදුරටත් කියා සිටියේ, සමස්තයක් ලෙස ගතහොත් රටේ එදිනෙදා කටයුතු ද පවත්වාගෙන යාම ද අවශ්‍ය බැවින් ප්‍රජාව කළ යුතුවන්නේ විනෝද චාරිකා යාම, සාදවලට එක්වීම වැනි අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකීම බවය.

කෙසේවෙතත්, අවදානම් කණ්ඩායම් ආශ්‍රිතව මෙතෙක් කළ අහඹු පරීක්ෂණවලින් ඔබ්බට ගොස් ජනතාව අතරේ පරීක්ෂණ ව්‍යාප්ත කිරීම ඇතුළු සැලසුමක් ඇති බව ද විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img