27.2 C
Colombo
Wednesday, August 27, 2025

ජනපතිගෙන් මහ බැංකු ප්‍රධානින්ට දැඩි විවේචනයක්…(VIDEO)

Published:

ජනපතිගෙන් මහ බැංකු ප්‍රධානින්ට දැඩි විවේචනයක්…(VIDEO)

රටේ ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුව කිසිදු යෝජනාවලියක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුමැතිය ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මුල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව දැනුම් දෙන්නැයි මෙහිදී ජනාධිපතිවරයා මහ බැංකුවේ ප්‍රධානීන් හට දැනුම් දී සිටියේ.

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැහැ. එසේ කිරීමට හේතුව කුමක්දැයි තමන්ට පැහැදිළි කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජේෂ්ඨ නිලධාරීන් සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අවවාදාත්මක ප්‍රකාශය සිදුකර සිටියා.

ඇමරිකාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහබැංකු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් මෙරට මහබැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැහැ. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබෙනවා. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක් මුල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට තමන් කළ යෝජනාව මහබැංකුව පැහැර හැර ඇති බවත් මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.

මහ බැංකු මුල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටිය නිලධාරීන් තවමත් එම තනතුරු දරනවා. ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන ජනාධිපතිතුමා සිය අප්‍රසාධය පළ කර සිටියා. ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කර සිටියා.

සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළා. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී තිබෙනවා. එය ඉටුකරනු වෙනුවට මහබැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන් අතර එය අදම කළයුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img