29.5 C
Colombo
Sunday, July 6, 2025

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගන්න දෙරට අතර විද්‍යුත් පණිවුඩ හරහා තොරතුරු හුවමාරු වේ

Published:

2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සිදු වූ මහ බැංකු  බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර මේ වන විට අධිකරණය මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ලේඛන මේ වන විට සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා අද (04) ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා.

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට පසුගිය අගොස්තු මස 09 වැනිදා කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණා.

මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ගොනු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අධිකරණයට දැනුම් දුන්නා.

මේ වන විට සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව එම ලේඛන සහ ඉල්ලීම එම රටේ නීතියට අනුකූල ද යන්න පරික්ෂා කරමින් පවතින බවත් එරටේ නීතිපති දෙපාර්තමේන්තුව මෙරටේ නීතිපති දෙපාර්තමේන්තුව සමග අර්ජුන මහේන්ද්‍රන් උදර්පනය කිරීමට අදාළව නිරන්තරයෙන් විද්‍යුත් පණිවුඩ හරහා තොරතුරු හුවමාරු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර මෙම නඩුවේ හය වන විත්තිකරු වන ජෙෆ්රි ඇලෝසියස් නැමැත්තා රුපියල් ලක්ෂ විසි පහක අමතර ඇපකරුවන් යටතේ මසක කාලයක් විදේශ ගත වීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුව මාර්තු මස 31 දා ට කල් තබන ලදි.

එමෙන්ම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කරනු ලැබ සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තාද මේ වන විට අධිකරණය මඟහැර සිංගප්පූරුවේ වාසය කරන බැවින් මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලදි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, මිත්‍ර ගුණවර්ධන, රන්ජන් හුළුගල්ල,  මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් තිබෙනවා.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10.058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට තිබෙනවා.

එම වෙන්දේසියේ දී රුපියල් බිලියන 10.058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමේ දී සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688.7 ක පාඩුවක් සිදුකළේ යැයි කියමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව තවත් චෝදනාවක් එල්ල කොට තිබෙනවා.

ඊට අමතරව අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් අදාල වෙන්දේසියේ දී ලංසු තැබීම සම්බන්ධයෙන් මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ තවත් චෝදනාවක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img