මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළා.
එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතුවා.
ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ හඩ නඟන බවද අවධාරණය කළා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා දැඩිව බලපෑම් කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව වෙත සියලුදෙනා අවතීර්ණ විය යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම, ගෝලීය ගැටලු රැසක් නිර්මාණ කර ඇති දුප්පත්කම පිළිබඳව සිය කතාව තුළ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇති නැති පරතරය සහ දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළයුතු බවද සඳහන් කළා.
ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී ඇති ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවරද මෙහිදී ගෙන හැර දැක් වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, දේශපාලනයට සහ සමස්ථයක් ලෙස ලෝකයේ යහපැවැත්මට තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට එක්වන ලෙසද ලෝක නායකයන්ට ඇරයුම් කළා.
ජාවාරම්කරුවන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවලට සංක්‍රමණය වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරවීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ අවධානයට යොමු කළා.
සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතු වන දූෂණය සංවර්ධනයට බාධාවක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණයට එරෙහි සටන අසීරු පියවරක් වුවත් මතු පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාව එය ආරම්භ කර තිබෙන බවත්, දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතු බවත් යෝජනා කළා.
අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරා ගත් ශ්‍රී ලාංකික ජනතාව අද ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සඳහා වූ ප්‍රායෝගික දැක්ම වටා එක්ව ඇති බවද මෙහිදී වැඩිදුරටත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවත්, ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබෙන බවත් ඒ සියල්ල පියවරෙන් පියවර ජය ගනිමින් සිටින බවත් සඳහන් කළා.