තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබෙනවා.
එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව ද පොලීසිය විසින් තහවුරු කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්.
මේ අතර, තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී ඇති අතර විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයෑමත් සමග පොලීසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගය ඊයේ (22) සොයාගත්තා.
එම මත්ද්‍රව්‍ය තොගය මෙරට තුළ එක් දිනක දී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද සැලකෙනවා.
එම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍යවලට අමතරව ටී – 56 වර්ගගේ ගිනි අවියක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි 5ක් ද පොලීසිය විසින් සොයාගත්තා.