ශ්‍රී ලංකාව අද ශක්තිමත් පදනමක් ඇති ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගෙමින් තිබෙන බවත්, 2025 වසර මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් මෙන්ම නීතියේ ආධිපත්‍යය යන සියලු ක්ෂේත්‍රවල සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ වසර බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක් වෙමින්.
ඒ අනුව, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ වැඩ නැවතුණු කඩවත – මීරිගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කෙරුණා.
කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම්ද අලුතින් ආරම්භ කෙරෙනවා.
මෙම මීටර් 500ක මාර්ග කොටස මගින් මධ්‍යම අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කෙරෙන අතර මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 8.692ක්.
සම්පුර්ණයෙන් දේශීය අරමුදල් මේ සඳහා යොදා ගැනෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක්.
ඒ සඳහා සම්පුර්ණයෙන් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 229.532 ක්.
ඒ සඳහා දේශීය අරමුදල් මෙන්ම චීන රජයේ සහන ණය මුදලක්ද යොදා ගැනෙන අතර 2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතයි.
රටක ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා කළ නොහැකි බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙරට ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් රජය බහුවිධ මානයන් ඔස්සේ කටයුතු කරමින් සිටින බවද පැවසුවා.
එහිදී නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සියලු දෙනා නීතිය යටතට ගෙන ඒම, සන්නද්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීම, දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස සහ දූෂණය නැති කිරීම මෙන්ම, නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය වැටුප් වැඩිකිරීම සහ පහසුකම් ලබා දීම ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සුවිශේෂී වර්ධනයන් අත්පත් කරගෙන තිබෙන බවද සඳහන් කළා.