ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළා.
ඒ අනුව විත්තිකරුවන් 12 දෙනාට එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරුණා.
නඩු විභාගය අවසන් වන තුරු විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවයි නියෝග කළේ.
විත්තිකරුවන්ට අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදුන්නා.
විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ සඳහන් කළා.
කෙසේ වෙතත් විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා විත්තියේ නීතිඥවරුන් විසින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇප නියෝගය නිකුත් කළා.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.