Update
ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණිය බලා ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
————————————————————————————————-
ඉන්දියාවේ සිට ඇති මාර්ගයෙන් නේපාලයේ ලුම්බිණියට ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එරටින් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වන්දනාකරුවන් දැනට ඉන්දියා-නේපාල දේශසීමාවේ සිටින බවයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ.
නේපාලයේ මේ වනවිට ආගමන විගමන කටයුතු ඇණහිට ඇති නිසා මීට අදාළ කටයුතු කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් නේපාල බලධාරීන් සමඟ පුද්ගලිකව සම්බන්ධ වී සිටින බවයි වාර්තා වන්නේ.
නේපාල හමුදාව දැනටමත් තත්ත්වය පාලනය කර ඇති අතර, ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙසට නිවේදනයක් නිකුත් කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
කත්මණ්ඩු පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලද නවතම තොරතුරු අනුව, නේපාලයේ වෙසෙන මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 102 ක්.
විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව සිටින අතර, කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ සිදුවීම් වාර්තා වී නොමැති බවයි.
තානාපති කාර්යාලය ඕනෑම ආධාරයක් සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමට පහසුකම් සලසා තිබෙනවා.
ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977 – 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි බවද දැනුම් දෙනවා.
සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් තබා ගන්නා ලෙසත් ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ළඟ තබා ගත යුතු බවත් විදේශ අමාත්‍යාංශය නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.