බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එය ඊයේ සලකා බැලුණේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත් එහි අභ්‍යන්තර හා බාහිර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවාගෙන තිබෙන බවත් චෝදනා කළා.
අදාල බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් බවත් ඔහුට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බන්ධනාගාර පනත යටතේ බලය නොමැති බවත් නීතිඥවරයා සඳහන් කළා.
එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණක් යැයි පෙන්වා දුන් එම නීතිඥවරයා බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් සඳහන් කළා.
බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ යුතු වුවත් බන්ධනාගාරය තුළ පරීක්ෂා කිරීම්, වැටලීම් ආදී කටයුතු සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනෙන අතර ඔවුන් අතින් රඳවියන් දැඩි අමානුෂික සැලකීම් වලට භාජනය වන බවයි නීතිඥවරයා චෝදනා කළේ.
ඒ අනුව බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි.
බන්ධනාගාර පනත ප්‍රකාරව බන්ධනාගාර කටයුතු සඳහා පොලිස් නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ අංශයක් බැවින් ඔවුන් එම කටයුතුවලට භාවිත කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සඳහන් කළා.
පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම පෙත්සම්කරු භාරයේ තිබී දුරකථනයක් සොයා ගැනුණු අතර බන්ධනාගාර තුළ පවතින තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යොදවා තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නා.
දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය භාවිතා කරමින් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගෙන ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, බූස්ස බන්ධනාගාරය තුළ නිදහසේ දුරකථන භාවිතා කරමින් එය අපරාධ මෙහෙයවන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවටයි චෝදනා කළේ.
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිදු යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධියට අදාළව ද මිදිගම රුවන් නැමැත්තාට චෝදනා එල්ල වී තිබෙනවා.
එම සිද්ධියට අදාළව ඔහු ඇතුලු තවත් පුද්ගලයෙකු ලබන 30 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ නියෝග කළේ.