31.7 C
Colombo
Sunday, July 6, 2025

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප – රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට නියමිත බව අධිකරණයට දන්වයි.

Published:

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග හමුවට පමුණුවනු ලැබුවා. 

එහිදී අල්ලස් කොමිසමේ සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළා. 

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ. 

මෙහිදී මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසුවා. 

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ එවක විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවයි. 

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2013 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා. 

කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමට අදාළව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළා. 

ඒ යටතේ පිරිසිදු කර වෙළඳපොළට මුදාහරණ වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ගෙවීමට අදාල සමාගම එකඟ වී ඇති අතර සෙසු පහසුකම් එම සමාගම විසින්ම සලසා ගැනීමටත් එකඟ වී තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළා. 

එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙනයාමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම් ද අදාළ කොරියානු සමාගම වෙත ලබාදීමට සිදුවී ඇති බවත් ඒ තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුව ඇති බවත් එම නිලධාරිනිය කියා සිටියා. 

මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවයි අල්ලස් කොමිසමේ නිලධාරිය කියා සිටියේ. 

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් සඳහන් කළා. 

මෙම ක්‍රියාවලිය තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත් අදාල කාල සීමාව තුළ මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදු කර නොමැති බවත් පැවසුවා. 

අදාළ කොරියානු සමාගම ගෙවීම් පැහැර හැරීමක් සිදු කර තිබුණේ නම් එය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගත යුතු බවත් එහෙත් ධීවර වරාය නීතිගත සංස්ථාව එවැනි පියවරක් ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. 

77 වන වියේ පසුවන සිය සේවා දායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසයි ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළා ඉන් අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා කැඳවීමටද නියම වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img