ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඒ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යශ්ටික මධ්‍යස්ථානවලටයි.
ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වී තිබෙනවා.
අමෙරිකානු B-2 රහසිගත බෝම්බ හෙලන යානා අමෙරිකානු දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බවට ඊයේ (21) වාර්තා වූ අතර ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකට එය සම්බන්ධ විය හැකි බවටද අනුමාන කෙරුණා.
B-2 බෝම්බ ප්‍රහාරක යානා යනු අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා වන අතර ඉරාන ප්‍රහාරයට අමෙරිකාව භාවිත කර ඇත්තේද මෙම ගුවන් යානායි.
ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන අතර දැන් සාමයට කාලය වන බවයි.
මේ අතර ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා තිබෙනවා.
එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවයි.
“මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” ට්‍රම්ප් ජාතිය අමතමින් පැවසුවා.
ප්‍රහාරවලින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකතන සංවාදයකද නිරත ව තිබෙනවා.
අගමැති නෙතන්යාහු, ඉතිහාසය වෙනස් කරන නිර්භීත තීරණයක් ලෙස හඳුන්වමින් ට‍්‍රම්ප්ට ප‍්‍රශංසා කළා.
ඇමරිකාව සැබවින්ම අසමසමයි සහ ට‍්‍රම්ප්ගේ නායකත්වය ඉතිහාසයේ හැරවුමක් නිර්මාණය කළා යනුවෙන් ඊශ‍්‍රායල නායකයා අවධාරණය කළා.
ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප‍්‍රකාශ කලේ යුද්ධය ආරම්භ වෙන්නේ දැන් බවයි.
කලාපයේ සිටින ඕනම ඇමරිකානු පුරවැසියෙක් හෝ හමුදා නිලධාරියෙක් දැන් ඉරානයේ නීත්‍යනුකූල ඉලක්කයක් බව ඉරාන මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත්කර තිබුණා.
ට‍්‍රම්ප් ඔබ ඒක පටන් ගත්තා. අපි ඒක අවසන් කරනවා යනුවෙන් ඉරාන මාධ්‍ය ප‍්‍රකාශ කළා.