30 C
Colombo
Thursday, July 17, 2025

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීමට අදාළව අධිකරණයේදී සමථයක්

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇති වුණි.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img