29 C
Colombo
Sunday, January 18, 2026

චාමරගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලීම ඉවතට

Published:

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය  අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය.

 

ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ  තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක මහතා විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබිණි.

 

නමුත් අදාල චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වනදා වුවද, චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29වනදා බවත් එම නිලධාරිනිය  පෙන්වා දුන්නාය.

 

ඒ අනුව සැකකාර චාමර සම්පත් මහතා විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවසීය.

 

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ මහතා අදාල චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත්වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළාය.

 

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවය.

 

සැකකාර චාමර සම්පත් මහතාගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක මහතා විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

 

ඒ අනුව මෙම ඉල්ලීම අද දහවල් සලකා බැලීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.

 

කෙසේ වෙතත් නඩුව අද දහවල් යළි කැදවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

 

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img