27.2 C
Colombo
Monday, July 7, 2025

UPDATE – ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන 21 තෙක් ඉහළට – මිය ගිය අයට රජයෙන් වන්දි

Published:

UPDATE – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබේ.

 

අනතුරින් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කෙරුණි.

 

මේ අතර අද (11) අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සහ ඊයේ (10) දිනයේ වැලිමඩ සිදුවූ බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුදගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා ‍02ක් සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බවය.

 

මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ඒමෙන්ම කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.

 

ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

 

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිතය.

 

මේ අතර රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි සඳහන්ව ඇත්තේ තමන් මෙම පුවත ඇසීමෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවත් අනතුරින් තුවාල ලැබූවත් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.

 

ඒහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

 

රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටී.

 

මෙම අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර තිබේ.

 

අද උදෑසන සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත මාගේ බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

 

එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවද සිහිපත් කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img