දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා විටින් විට බාධා මතුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් පසුගිය කාලය පුරාවට නිසි අවසරය නොලැබුණු බවත් මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වා ගැනීමේදි යම් යම් ගැටළු මතුවන බවත් සාමාන්‍යාධිකාරිවරයා අද (27) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව ඔහු පැවසුවේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය රියදුරන් 430ක් පමණ අවශ්‍ය වන නමුත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ රියදුරන් 275ක් බවය.
එහිදී අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පසුගිය මාර්තු මාසයේදී අවසරය ලැබී ඇති බවත් ඒ අනුව අයදුම්පත් කැඳවීමට මේ වන විට පියවර ගෙන ඇති බවත්ය.
ඒ අනුව ලැබී ඇති අයදුම්පත් අනුව එළැඹෙන ජුලි මස පළමු සතියේදී දුම්රිය සේවය සඳහා බඳවා ගැනීමේ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද ඒ සඳහා වන මූලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
එමෙන්ම වර්ථමානයේ සේවයේ යෙදී සිටින දුම්රිය රියදුරන් 275ක ප්‍රමාණය හේතුවෙන් ඔවුන්ව වැඩි දුම්රිය වාර ගණනක් සඳහා සේවයේ යෙදවීමට සිදුව ඇති බවත් යම් අවස්ථාවක ඔවුන් නිවාඩු ලබා ගත හොත් දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා ගැටළු මතුවන බවද ඔහු පැවසීය.