සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම පිළිබඳව සිය සම්මේලනය බලවත් කම්පනයට පත්වී සිටින බවය.
මෙම ඛේදජනක සිදුවීම නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා මතුවෙමින් ඇති බවද විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
මේ අතර මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද පැවසුවේ මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවයි.
අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඒම නිවේදනයේ දැක්වුණි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙක් නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත්ව සිය දිවි හානිකරගැනීමේ පුවතක් පසුගියදා වාර්තා විය.
පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ඊට පසුදින එනම් 28 වැනි දින ඔහු ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.
එලෙස පැමිණි ඔහු අප්‍රේල් 29 වැනිදා සවස සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණි.
ඔහුගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කරනුයේ විශ්ව විද්‍යාලයේ අවුරුදු උත්සවයේදී ඔහුට දරාගත නොහැකි ලෙස නවකවධයට මුහුණ දීමට සිදුවීම මෙම සියදිවි නසා ගැනීමට හේතු වූ බවය.
ඒ අනුව මෙම සිසුවාගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
අදාළ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට පත්කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ නිවේදනය කර තිබුණි.
ඒ අනුව එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම ද ? යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි.
නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසා සිටියේය.