28.4 C
Colombo
Tuesday, August 26, 2025

සරසවිවල කල් පැනපු සිසුන් ගෙදර යවන්න පනතක් ගේනවා…

Published:

විශ්වවිද්‍යාලවලට ඇතුළු වී නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කිරීම වැදගත් යැයි කල්පනා කරමින් විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමා ද ඉක්මවා වසර 9ක් 10ක් වන කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය. නියමිත කාලය තුළ විභාගවලට පෙනී නොසිට දීර්ඝ කාලයක් එසේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යයාවන් කවුරුන් ද යන්න පිළිබඳව සංගණනයක් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ද ඒ සඳහා විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ සහය ලබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙසේ රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල නේවාසිකාගාර මුදා නොගත් ප්‍රදේශ වශයෙන් පවත්වාගෙන යෑම 21 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් ම ගැළපෙන්නේ නැති බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම ශිෂ්‍ය, ශිෂ්‍යාවන් මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටීම නිසා නවක සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම වනවා සේ ම නවක වධ සිද්ධීන් ඇතිවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

විශ්වවිද්‍යාලවලට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්වවිද්‍යාලවලින් පිටව යා යුතු බවට නීතියක් දැනට පවතින විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනතේ සඳහන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ ගැටලුසහගත තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය. කෙසේ වුව ද නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව එම ගැටලුසහගත තත්ත්වයට පිළියම් යෙදීමට හැකි වන බව ද ඔහු සඳහන් කළේ ය. කිසියම් ශිෂ්‍ය, ශිෂ්‍යාවකට අසනීප තත්ත්වයක් හෝ වෙන යම් පෞද්ගලික හේතුවක් මත නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිටීමට නොහැකි වුවහොත් විභාගයට පෙනී සිටීම සඳහා එම කාලය මෙන් තවත් සියයට 50ක කාලයක් ලබාදෙන බව ද එම කාලය තුළදී විභාගවලට පෙනී නොසිට උපාධිය සම්පූර්ණ නොකරන සියලු ශිෂ්‍ය, ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල භූමිවලින් ඉවත් කිරීමට මෙම නව පනතෙන් හැකියාව ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img