25 C
Colombo
Thursday, August 28, 2025

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම් – විභාග මධ්‍යස්ථාන සෞඛ්‍යාරක්ෂිත බවට රජය සහතික වෙයි…

Published:

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම් – විභාග මධ්‍යස්ථාන සෞඛ්‍යාරක්ෂිත බවට රජය සහතික වෙයි…

හෙට පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පූර්ණ අවධානය යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

අදාළ විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණු අතර විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා. මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 31,694 ක්. විභාග මධ්‍යස්ථාන 2,936 කදී එම විභාගය පැවැත්වෙනවා.

පෙරවරු 09.00 වන විට විභාග අපේක්ෂකයින් විභාග ශාලාවල අසුන් ගැන්විය යුතු අතර කොරෝනා වසංගතය හේතුවෙන් විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද කි‍්‍රයාත්මක වන බැවින්, පෙරවරු 08.45 වන විට විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානවලට පැමිණ සිටිය යුතුයි. විභාගය පෙරවරු 09.30 ට ආරම්භ වන අතර පළමු ප‍්‍රශ්න පත‍්‍රය සඳහා පිළිතුරු ලිවීමට පැයක කාලයක් ලබා දී තිබෙනවා. දෙවන ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සැපයීම සඳහා පෙරවරු 11 සිට පස්වරු 12.15 දක්වා පැය 1 යි මිනිත්තු 15 ක කාලයක් හිමි වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග අපේක්ෂකයින් තමන්ගේ විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳීය යුතුයි. පිළිතුරු සැපයීමේදී පැන්සලක්, නිල් හෝ කළු පෑනක් භාවිත කළ හැකි වනවා. විභාග දෙපාර්තමේන්තුව මව්පියන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේ, මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසයි. විවේක කාලයේදී මව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල් වීමට අවසර හිමි වන්නේ නැහැ. එබැවින් දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් ලබා දෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට සිය විභාග ප‍්‍රවේශ පත‍්‍රය ඇඳීරි නීති බලපත‍්‍රයක් ලෙස යොදාගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර, නිරෝධායන ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින විභාග අපේක්ෂකයින්ට, එම බල ප‍්‍රදේශයේ විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.

මේ අතර, අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබන සිසුන් 05 දෙනෙකුට ද විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ ස්ථානයක අවස්ථාව සලසා දී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර හෝ ආරම්භ වීමෙන් පසු මව්පියන් මෙන්ම දරුවන් ද අනෙක් දරුවන් සහ මව්පියන් සමග එක් නොවීම සිදු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img