29.5 C
Colombo
Sunday, July 6, 2025

වෙබ් අඩවි හරහා ඇණවුම් කළ භාණ්ඩ 42000 ක ලිපිනයන් මැකිලා…

Published:

වෙබ් අඩවි හරහා ඇණවුම් කළ භාණ්ඩ 42000 ක ලිපිනයන් මැකිලා…

ශ්‍රී ලංකාව වෙත ගුවන් තැපෑල හරහා එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී, යා යුතු ලිපින මැකී ගොස් ඇති බැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද උදෑසන ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ, මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී එම පාර්සල් මෙරටට ලැබෙන විට ඒවායේ ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කරන එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

අන්තර්ජාලය හරහා ඇණවුම් කර ඇති තමන්ගේ භාණ්ඩ තමන් වෙත තැපැල් මගින් නොලැබීම මත විවිධ පාර්ශවයන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් නිරන්තර විමසීම් සිදුකරමින් පවතී. මාර්තු මස අවසන් සතියේ සිට මේ දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම මත බොහෝ රාජ්‍යයන් වෙතින් ලැබිය යුතු තැපැල් භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත නොලැබීම මෙම ප්‍රමාදයට හේතුවක් වී ඇත. එසේ වුවත් බොහෝ සමාජ මාධ්‍යයන් තුල තැපැල් සේවකයින් විසින් මෙම භාණ්ඩ සොරකම් කරන බවට චෝදනා කරමින් ප්‍රකාශයන් පළවේ. මෙම චෝදනා සත්‍ය නොවන බව කාරුණිකව දැනුම් දෙමි.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙබ් අඩවි මගින් භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතන විසින් අදාළ භාණ්ඩ ගුවන් සමාගම් වෙත බාරදීමත් සමඟ ඔවුන්ගේ වෙබ් අඩවිවල එකී භාණ්ඩ ගමනාන්ත වෙත බාරදුන් බවට සඳහනක් කළ ද එකී භාණ්ඩ ගුවන් සමාගම් හි රැඳී ඇති නමුත් මෙරටට ලැබී නොමැති බවත් පෙන්වා දිය යුතුව ඇත.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් ඊ වාණිජ (E Commerce) මගින් විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් ඇණවුම් කර ඇති තැපැල් භාණ්ඩ අඩංගු බහලුමක් මැලේසියානු තැපැල් පරිපාලනය විසින් 2020 ජූනි මස දෙවන සතිය තුළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

මෙම බහාලුමෙහි සාමාන්‍ය තැපැල් මගින් යොමුකළ කුඩා පාර්සල් 45,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගුව ඇති අතර COVID-19 වසංගතය පැතිරීමට ප්‍රථම මැලේසියානු තැපැල් පරිපාලනය වෙත භාර දී ඇති මුත් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් 2020 මැයි මස අග දී මුහුදු මගින් ශ්‍රී ලංකා තැපැල් පරිපාලනය වෙත යොමු කර ඇත. මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී මෙරටට ලැබෙන විට භාණ්ඩයන්වල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

මෙම භාණ්ඩ තොගයෙන් ලිපිනයන් හඳුනාගත හැකි භාණ්ඩ 5,000කට ආසන්න ප්‍රමාණයක් තෝරා ගමනාන්ත වෙත යොමුකර ඇති අතර ඉතිරි භාණ්ඩ බෙදා හැරීමට එහි අඩංගු බාර්කෝඩ් අංක භාවිත කොට ලිපිනයන් සපයා දෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය දැනුවත් කර ඇති අතර එම උත්සාහය සාර්ථක නොවුණහොත්, මෙම භාණ්ඩ තොගය ආපසු මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යොමු කර නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබාගැනීමට පියවර ගැනීමට ඇති හැකියාව අනුව කටයුතු කරනු ලැබේ.

මෙම තත්ත්වය මත සිදුවන ප්‍රමාදය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොරවන බව කාරුණිකව දන්වා සිටින අතර මෙම තැපැල් භාණ්ඩ හිමිකරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය වෙත අප විසින් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img