විසඳුම්දී තිබියදීත් මහජනතාව අපහුතාවයට පත්කරන වැඩ වර්ජනය අසාධාරණයි – ප්‍රවාහන අමාත්‍යාංශය
මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මෙසේ කටයුතු කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
අමාත්‍යාංශය මෙම වසර ආරම්භයේදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 දෙනෙකු බඳවා ගැනීම ද ඊට ඇතුලත්.
මාස කිහිපයකට පෙර මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණ ද දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වන තෙක් නව බඳවා ගැනීම් කිසිවක් සිදුකිරීමට නොහැකි වී තිබෙන බව සදහන්.
එමෙන්ම වසර පහෙන් පහට උසස් වීම් ලබාදීම ඇතුලු කරුණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ නිකුත් කර තිබෙන බවද පැවසේ.
එය පසුගිය 7 වනදා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
ලබන සතියේ දී ඒවා නියමිත පරිදි රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කර ඇති බවයි දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයට දැනුම් දි ඇත්තේ.
මේ අයුරින් ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබිය දී දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම පසෙකදමා ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබද දැඩි අප්‍රසාදය පළ කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ජනතාව අපහසුතාවට පත් කරන මෙම වැඩවර්ජන පිටුපස වෙනත් උවමනාවක් තිබේද යන සැකය මතුවන බවත් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම හා ජනතාව පීඩාවට පත් කිරීම උත්සාහය බවයි ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටින්නේ.