29.5 C
Colombo
Sunday, July 6, 2025

විදෙස් ප්‍රේශණ මත විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීමේදී අක්‍රමිකතා රැසක්

Published:

විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදුවී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අනාවරණය වූයේ විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ සකස් කරන ලද විශේෂ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 02 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විගණක‍ාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැක සහිත බවය. මේ සම්බන්ධයෙන් සිදුකර තිබූ පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී මේ බව පෙනී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම කාලසීමාව තුළ වාහන බලපත්‍ර 1077ක් නිකුත් කර තිබූ බවත් එයින් බලපත්‍ර 77ක් අවලංගුවී තිබූ බවත් මෙහිදී පෙන්වා දුන් විගණකාධිපතිවරයා, ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බව කමිටුවට අනාවරණය කළේය.

මේ මගින් බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදුවී ඇති බව පැහැදිලි වන බව ඒ මහතා අවධාරණය කළේය.

එසේම 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921 ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක් බවද මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අදාළ කාල සීමාවේ විදේශ ගත නොවූ පුද්ගලයින් හතරදෙනෙකු (4) වෙනුවෙන් ද විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බවද මෙහිදී අනාවරණය වූ අතර මීට අදාළ චක්‍රලේඛය මගින් විද්‍යුත් වාහන බලපත්‍ර හිමිකම ලැබීමට විදේශ ගතවී සිටිය යුතු අවම කාලසීමාවක් නිශ්චය කර නොතිබීම නිසා දින 3 සිට මාස 3 දක්වා වූ කෙටි කාල පරිච්ඡේද තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයින්ට හා කඩින් කඩ විදේශගතවූ පුද්ගලයින් සඳහාද මෙම යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර ලබාදීමට පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.

මේ අනුව කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ හිටපු අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් මෙම සියලු අවිධිමත් කටයුතු සිදු කර දී ඇති බවය.

එසේම මේ හරහා‍ තමන්ගේ තෝරාගත් පිරිසකට වරප්‍රසාද සකසා දීමක් සිදු කර ඇති බව පෙනී යන බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

තවද පැමිණ සිටි නිලධාරියෙක් මෙහිදී පෙන්වා දී ඇත්තේ රාජ්‍ය සේවකයෙක් ලෙස සෘජුව කටයුතු කිරීමේ නොහැකියාවක් මෙම යෝජණා ක්‍රමයට අනුබද්ධව සේවය කිරීමේදී ඇති වූ බවත් මේ හේතුවෙන් තමන් සේවා මාරුවක් ලබාගත් බවත්ය.

මේ අනුව මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස සහ මීට අදාළ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img