25.6 C
Colombo
Thursday, August 28, 2025

මෙරට ආර්ථිකය 50%කින් සංකෝචනය අභියස…

Published:

වෙළඳපොළ මිලට වඩා ඉතා අධික මිලකට තෙල් විකුණා බිලියන 600 පමණ ඉතුරුවක් ගැනීමෙන් සිදුවන්නේ ආර්ථිකය කඩා වැටෙන තැනට ගමන් කිරීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“පසුගිය දිනවල උද්ධමනය අඩුවුණා කියලා ප්‍රකාශයක් කෙරුණා. මේ උද්ධමනයේ පදනම් බලපෑම (Base effect) නිසා ලබන වසරේ උද්ධමනය අනිවාර්යෙන්ම අඩු වෙයි. නමුත් මෙවර උද්ධමනය අඩු වෙන්න ප්‍රධාන හේතුව වුණේ ඉන්ධන මිල අඩුවීම. 2022 ජනවාරි මාසයේදී සියලුම දියර ඉන්ධන වර්ග මෙට්‍රික් ටොන් 11,142 පාවිච්චි කරලා තියෙනවා. ඔක්තෝම්බර් මාසේ දිනක අලෙවිය මෙට්‍රික් ටොන් 5516 යි. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් භාවිතාව හරියටම 50% කින් අඩුවෙලා. මෑත කාලයේ මාධ්‍ය වාර්තා කළා තෙල් විකිණීමෙන් 2022 පළවෙනි මාස 08 ඇතුලේ ආදායම බිලියන 956 ක්. ඒ වගේම තෙල් ආනයනය සඳහා ගිය මිල රුපියල් බිලියන 357 යි. බිලියන 600 පමණ ඉතුරුවක් මේ පළවෙනි මාස 08 දී තෙල් වලින් ලැබිලා තියෙනවා. මේකෙන් බිලියන 513 ක් ගියැයි කියනවා ණය ගෙවන්න. නමුත් අපි එකක් මතක තියාගන්න ඕනේ. වෙළඳපොළ මිලට වඩා ඉතා අධික මිලකට තෙල් විකිණීමෙන් වෙන්නේ මොකක්ද? තෙල් භාවිතාව අඩු වෙලා ආර්ථිකය කඩා වැටෙන තැනට ගමන් කිරීම පමණයි.

තෙල් මිල බලපානවා විදුලි බිලට. ඇත්ත තෙල් මිල එනවා නම් විදුලි බිල මීට වඩා අඩු කරන්න පුළුවන්. ඒ මගින් ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි කරන්න පුළුවන්. නොවැම්බර් 10 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් දාලා තියෙනවා. දැනට ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවාද, නැද්ද? කියන අතීරණය විසින් භාණ්ඩාගාර බිල්පත් වල පොළිය 35% – 40% දක්වාම වැඩි කරගෙන යනවා.

අද ජාත්‍යන්තර විශ්ලේෂකයන්ට අනුව 2021 ඩොලර් බිලියන 89 ක් වූ ලංකා ආර්ථිකය ලබන වසරේදී ඩොලර් බිලියන 66 වැටෙනවා. ඇත්තටම ඒ ඩොලරය රුපියල් 203 තියාගෙන ව්‍යාජයක් කරපු නිසයි. 2025 ඩොලර් බිලියන 120 ආර්ථිකයක් හදන්න ගිය රටක් ඩොලර් බිලියන 60 කින්, ඒ කියන්නේ 50% කින් රටේ ආර්ථිකය සංකෝචනය වෙමින් පවතින බව අපි තේරුම් ගත යුතුයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකම මාවත හැටියට මම නම් විශ්වාස කරන්නෑ. නමුත් ආණ්ඩුව විශ්වාස කරනවා නම් ඒ සඳහා මානුෂීය ලෙස කටයුතු කරන ලෙස අපි ඉල්ලා හිටිනවා. පළමුවෙන්ම මේ මර්ධනය, ඒ වගේම හිංසනය, දුෂණය නතර කළ යුතුයි. අද බලශක්ති ඇමතිතුමා තෙල් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. ගල් අඟුරු පිළිබඳ වාර්තාවක් විගණකාධිපති ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කියෙව්වට පස්සේ අපිට තේරෙනවා තෙල්, ගල් අඟුරු, ගෑස් මේ සියල්ල ගෙන්වීමේදී අති මහත් දූෂණයක් වෙලා තියෙනවා. ඒ වගේම වැඩ බැරි පිරිස වෙනුවට අලුත් තරුණ කුසලතාවාදීන්ට මුදල් අමාත්‍යංශයත්, ආර්ථික ක්ෂේත්‍රයත් කළමනාකරණය කරන්න ඉඩ දෙන්න. මම නම් විශ්වාස කරන්නේ නැහැ ලබන වසරේ පළවෙනි මාස 03 – 04 ඇතුළත මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ එකඟතාවය අපට ලැබිලා මුල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට අපිට ඇතුල් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා එයට විකල්ප ක්‍රියාමාර්ගයක් සකසා ගැනීම රජයට අත්‍යවශ්‍යයි. අපිට ජාතික සභාවෙන් දීපු වරම අනුව අපි මේ 10 වනදා අපේ ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශය, ජනාධිපතිතුමා, අයවැය ලේඛනයත් එක්ක යම්කිසි ඉදිරිගාමී ක්‍රියාමාර්ගයක් ගනී කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img