සිරි දළඳා වන්දනාවට පිරිසිදු කිරීම හරහා සහයෝගය දැක්වූ නගර සභා සහ පළාත් පාලන ආයතනවල කම්කරුවන්ට දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අද (27) අවස්ථාව ලබාදී ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසයි.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව පසුගිය දිනවලද කම්කරුවන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබාදී තිබූ බවයි එසැණ සමඟ අදහස් දක්වමින් නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ.
සිරි දළඳා වන්දනාවේ අවසන් දිනය වන අද දිනයේ මහනුවර නගර සභාවේ කම්කරු ප්‍රජාවට අමතරව අවට පළාත් පාලන ආයතනවල සේවකයින්ට දළදා වහන්සේ වැද පුදා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වන අද දින පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.
පසුගිය 18වනදා සිට ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ‘සිරි දළදා වන්දනාව’ සදහා අවස්ථාව හිමිවූ අතර තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වේ.