27.8 C
Colombo
Wednesday, August 27, 2025

පාසල් පොත්, පෑන් සහ සපත්තු ‍මිල සීඝ්‍රයෙන් ඉහළට…

Published:

නව පාසල් වාරයේ පාසල් ළමයින්ට අවශ්‍ය පොත්පත්, සපත්තු, නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එම භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

පාසල් උපකරණවල මිල ඉහළ යෑම සම්බන්ධව පිටකොටුව ප්‍රදේශයේ දී “අරුණ” පුවත්පත කළ සොයාබැලීමක දී මේ බව අනාවරණය වී තිබේ.

පසුගිය වසරෙහි නව පාසල් වාරයේ දී අවශ්‍ය උපකරණ ලැයිස්තුව රුපියල් 5,000ක පමණ මුදලකට ලබාගැනීමට හැකි වුවත් මේ වසරෙහි එම මුදල රුපියල් 15,000 ඉක්මවන බවද එහිදී අනාවරණය වී ඇත.

පිටු 80 කොටුරූල් හා තනිරූල් පොතක් රුපියල් 55 ක්ව පැවති මිල මේ වනවිට රුපියල් 145කි. 180ට තිබූ චිත්‍ර පොතක මිල රුපියල් 270කි. පිටු 80 CR පොතක් රුපියල් 160 සිට 320 දක්වා මිල වැඩිවී තිබේ.

රුපියල් 10ට තිබූ මකන කැබැල්ල රුපියල් 40කි. චිත්‍ර සඳහා භාවිත කරන පැස්ටල් පෙට්ටියක මිල රුපියල් 70 සිට රුපියල් 195ක් දක්වා වැඩි වී ඇත.

රුපියල් 10ට තිබූ පෑනක මිල රුපියල් 30 දක්වාත් A4 කොළයක් රුපියලේ සිට රුපියල් 10 දක්වාත් වැඩිවී තිබේ.

ඒ අනුව බලනවිට පොත්වල පිටු ප්‍රමාණය අනුව මිල ද රුපියල් 100කට වැඩි මුදලකින් ඉහළ ගොස් ඇත.

මේ අයුරින් සෑම පාසල් උපකරණයකම මිල ඉහළ ගොස් ඇති අතර, රුපියල් 1,500ට තිබූ සපත්තු යුගලයක් මේ වනවිට රු 3,000 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර පාසල් බෑගයක මිල ද රුපියල් 1,000 සිට රුපියල් 3,000 ඉක්මවා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළෙඳුන් පවසන්නේ,

“කවකටු පෙට්ටිය ඉස්සර තිබුණේ රුපියල් 150යි දැන් 750යි. පොත්වල මිල ගණන් 300%කින් වැඩිවෙලා තියෙන්නේ. ගනුදෙනුකරුවෝ අපිට බැනලා යන්නේ. ගිය අවුරුද්දේ රුපියල් 3000කට 3500කට දීපු පොත් ලැයිස්තුවක් මේ අවුරුද්දේ රුපියල් 12,000ක් වගේ මිලකට ගන්න වෙන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ සිසුන් කිහිපදෙනෙකු සඳහන් කළේ,

“උසස් පෙළ කරන ළමයි හැටියට අපිට අවශ්‍ය CR පොතක් රුපියල් 500ක් වෙලා තියෙනවා. අපිට දැන් පොත් 5ක් ගන්නවා කියන්නේ රුපියල් 2500ක් විතර වෙනවා.”

පාසල් උපකරණවල මිල ඉහළයෑම සම්බන්ධයෙන් අදහස් පළ කළ දෙමව්පියන් සඳහන් කළේ,

“දවසේ ආදායම රුපියල් 1000ක් වගේ තියෙන කෙනෙක් කොහොමද දරුවට මේ පොත් ලැයිස්තුව අරන් දෙන්නේ. ශිෂ්‍යත්වය ලියන දරුවෙක් ගෙදර ඉන්නවා.. අනිවාර්යයෙන් මේ පොත් ගන්නත් ඕනේ. පාසල් යන දරුවන් දෙතුන් දෙනෙක් හිටියොත් මොකද කරන්නේ. පොඩි පරම්පරාවනේ ඉස්සරහට ලොකු වෙන්නේ. කොහොමද ඒ අයගේ ඔළු හදන්නේ නැතුව රටක් පවතින්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img