27.2 C
Colombo
Friday, September 5, 2025

පාර්ලිමේන්තුවටත් නැවුම් අත්දැකීමක් එක් කරන ජනපති තෝරන ඡන්ද විමසීම තවත් පැය කිහිපයකින්…

Published:

පාර්ලිමේන්තුවටත් නැවුම් අත්දැකීමක් එක් කරන ජනපති තෝරන ඡන්ද විමසීම තවත් පැය කිහිපයකින්…

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයටද නවමු අත්දැකීමක්.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 38 වැනි ව්‍යාවස්ථාවේ (1) වැනි අනු ව්‍යාවස්ථාව ප්‍රකාරව ජනාධිපතිධූරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 40 වැනි ව්‍යාවස්ථාව මගින් දක්වා ඇති පරිදි ධූරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරීමට පාර්ලිමේන්තුව මගින් යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත යුතු වනවා.

මෙම තෝරාපත් කරගැනීම සිදු කල යුතු වන්නේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන  ප්‍රකාරවයි. මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු වන අතර අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දයක් හිමි වනවා.

ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරන අතර ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර ඔහු විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකළ යුතුයි.

මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුලු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබිය යුතු අතර එම එක් එක් මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය සළකුණු කර එය ඡන්ද පෙට්ටියට දැමිය යුතු වනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් තමන් ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි  “1” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුයි. මෙහිදී අපේක්ෂකයින් තුන්දෙනෙකු යෝජනාවී ඇති බැවින් මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතිනවා. ඒ අනුව අනෙක් අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ  2,3 ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව යෙදිය හැකියි.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තේරී පත්වනවා. දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකුට ලැබී නොමැති නම් සටහන් කර ඇති දෙවන හා තෙවන මනාප පරික්ෂා කිරීම සිදු වනු ඇති. එහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයා ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කළ යුතුයි.

එම ගණනය කිරීමේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු විසින් ලබාගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි.

අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමකින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතු බවයි 1981 අංක 02 දරණ ජනාධිපතිවරයා  තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ දක්වා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,511FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img