පාකිස්ථානයේ සහ පාකිස්ථානය විසින් පරිපාලනය කරන කාශ්මීර්හි ප‍්‍රදේශ 9 කට ඉන්දීය හමුදා අද උදෑසන ප‍්‍රහාර එල්ල කළේය.
ඊට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාවටත් ශෙල් ප‍්‍රහාර ඒල්ල කළ පාකිස්ථානය ඉන්දීය යුද ගුවන් යානා 5 ක් බිම හෙළා තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් එල්ල කළ මේ ප‍්‍රහාරයෙන් දෙරටේම සිවිල් වැසියන් දසදෙනෙකු පමණ මේ දක්වා මිය ගොස් තිබේ.
පෙහෙල්ගාම් ත‍්‍රස්ත ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාව ආරම්භ කළ ඔපරේෂන් සින්දූර් යටතේ ඉස්ලාමීය හමුදා කණ්ඩායම්වල මූලස්ථාන ඇතුළත් ත‍්‍රස්ත ඉලක්ක 9 කට මිසයිල ප‍්‍රහාර එල්ල කළ බවත් කිසිඳු පාකිස්ථාන හමුදා කඳවුරකට පහර නොදුන් බවත් ඉන්දියාව ප‍්‍රකාශ කළේය.
ඒ අනුව මුසෆරාබාද්, කොට්ලි සහ බහවල්පූර් කියන ප‍්‍රදේශවල ප‍්‍රහාර සිදුව තිබුණි.
නමුත් පකිස්ථාන හමුදා පැවසුවේ සිවිල් ජනතාව වෙසෙන ප‍්‍රදේශ ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කර ඇති බව සහ ත‍්‍රස්ත ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කළ බවට වන ප‍්‍රකාශය අසත්‍ය බවයි.
ප‍්‍රහාර හේතුවෙන් පාකිස්ථානයේ 8 දෙනෙක් මිය ගොස් 35 දෙනෙකු පමණ තුවාල ලබා දෙදෙනෙක් අතුරුදන්ව සිටින බව පාකිස්ථාන හමුදා පැවසීය.
ප‍්‍රහාර හේතුවෙන් දෙරටේම ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබේ.
පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ හදිසි තත්ත්වයක් ද ප‍්‍රකාශයට පත්කර තිබේ.
ඉන්දියාවේ ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් පාකිස්ථානයත් කාශ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන ප‍්‍රදේශයට ශෙල් ප‍්‍රහාර එල්ල කළ අතර ඒ අනුව ඉන්දීය ගුවන් සීමාවේ තිබූ මිග් 29 සහ රෆාල් ගුවන් යානා 3 ක් ඇතුළු ගුවන් යානා 5 ක් සහ ඩ්‍රෝන යානා බිම හෙලූ බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහ්ම්මද් අසීෆ් ප‍්‍රකාශ කළේය.
දෙපාර්ශවය අතර කාශ්මීරයේ සටන් විරාම රේඛාව ඔස්සේ ස්ථාන කීපයකදී වෙඩි හුවමාරුත් සිදුව තිබුණි.
මේ ප‍්‍රහාරවලින් ඉන්දීය සිවිල් වැසියන් තුන්දෙනෙක් මිය ගිය බව වාර්තා වේ.
ප‍්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේ ඉන්දියාව විසින් පාකිස්ථානයට පහරදීම ලැජ්ජාවක් බවයි.
ඉන්දියාව සහ පකිස්ථානය අතර මිලිටරි ගැටුමක් ලෝකයට දරාගත නොහැකි බව ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද පවසා තිබුණි.
මේ ප‍්‍රහාර හමුවේ ඉන්දීය කොටස් වෙළඳපොළ බිඳවැටුණු අතර ඉන්දීය රුපියලත් අවප‍්‍රමාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.