එක්සත් එමීර් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමූහයක් හිමි ප්‍රධාන පෙලේ ව්‍යාපාරික නන්දන ලොකුවිතාන ඊයේ (27) දිනයේදී ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු දෙවැනි විශාලතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ (HNB) 9.99% කොටස් රුපියල් බිලියන 14 කට මිලට ගෙන තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොල ආරංචි මාර්ග අනුව ව්‍යාපාරික නන්දන ලොකුවිතාන විසින් මෙසේ මිලට ගනු ලබන්නේ තවත් බිලියනපති ව්‍යාපාරිකයෙක් වන ඉෂාර නානායක්කාරගේ Browns Investments PLC සතුව පැවති මිලියන 45.5ක් පමණ වන HNB බැංකුවේ කොටස් ය.
එම එක කොටසක් සඳහා නන්දන ලොකුවිතාන විසින් රුපියල් 305.00 – 313.00 අතර මුදලක් ගෙවා ඇති බවට Browns Investments විසින් ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල වෙත නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
මෙම කොටස් ගනුදෙනුව හරහා නානායක්කාරගේ Browns Investments විශාල ලාභයක් අත්පත් කර ගෙන ඇති බවද කොටස් වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම HNB බැංකුවේ කොටස් නානායක්කාර විසින් 2020-2021 අතර කාලයේදී මිලදී ගැනීම සඳහා වැය කර ඇත්තේ රුපියල් බිලියන 5ක් පමණ බව ඔවුහු පවසති.
Browns Investments සතුව HNB බැංකුවේ ඡන්ද බලය නොමැති කොටස් (non-voting shares) මිලියන 53.1 ක් නැතිනම් ප්‍රතිශතාත්මකව 45.87%ක් ද පවතී.
මෙම ගනුදෙනුවත් සමගම ව්‍යාපාරික නන්දන ලොකුවිතාන HNB බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමියා බවට පත්වේ.
අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන විසින් පාලනය කරන ලද සමාගම් වන Milford Exports, Stassen Exports සහ Distilleries යන සමගම් එක්ව HNB හි 17.8% ක කොටස් හිමිකාරීත්වයක් දරයි.
HNB බැංකුවේ තෙවැනි විශාලතම කොටස් හිමියා වන්නේ සේවක අර්ථසාධක අරමුදයි (EPF).
නන්දන ලොකුවිතාන: ඔහු ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධියට පත්වන්නේ ඩුබායිහි මැරියට් හෝටලයේ අයිතිකරු ලෙසය.
එක්සත් ආරබි එමීර් රාජ්‍ය මුල් කරගත් Onyx සමූහයෙහි (Onyx Group of Companies) හිමිකරු සහ සභාපතිවරයාද වන්නේ ඔහුය.
ලොකුවිතාන විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ප්‍රධාන පෙලේ ආයෝජනයන් අතර ඔරුවල වානේ නැතහොත් Ceylon Steel Corporation (ලංවා), Lanwa Sanstha Cement Corporation සහ Ferentino Tyre Corporation යන ඒවා වෙයි. මෙම සමාගම් සියල්ලම ඔහුගේ Onyx සමූහය යටතේ ක්‍රියාත්මක වෙයි.