27.2 C
Colombo
Monday, July 7, 2025

Published:

දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2ක්…

2015 ජනවාරි මස පළමු වනදා සිට 2019 නොවැම්බර් මස 16 වනදා දක්වා දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කර ඇත.

පසුගිය 9 වනදා සිට බලපැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතනවල දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූවන් සම්බන්ධයෙන්මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ඇති.

එම කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වෙයි.

අදාල කාලය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මෙම කොමිසම මඟින් විමර්ශනය කරෙනු ඇති.

2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සහ එම වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් අනතුරුව ඊට පෙර තනතුරු දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිසියේ සාමාජිකයින් දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ජනපති කොමිසම මඟින් කරුණු සොයා බැලීමට නියමිතයි.

මෙම ජනාධිපති කොමිශන් සභාව මඟින් මාස 6 ක කාලයක් තුළදී ඊට අදාල වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දිය යුතු වෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී සිටින ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම කොමිශන් සභාව පත් කර ඇති බව සඳහන්.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් එහි සාමාජිකයින් ලෙස විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩි.එම්.ගුණසේකර යන මහත්වරුන් පත් කර ඇත.

ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම ස්වකීය තැන්පතුකරුවන්ගේ ගනුදෙනු බේරුම්කිරීම සඳහා වත්කම් විකිණීම සිදු කළද මුල්‍ය සමාගමේ සිදුව ඇති බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ඇති.ඊ.ඒ.පි.බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ්හි අයිතිය විදේශිකයින් විසින් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති කඩ කරමින් බ්ලු සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන්හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලින් සැදුම්ලත් මුල්‍ය ආයතන සමුහයකට විකිණීම සහ විදේශිකයින් විසින් නිශ්චල දේපළ මිලදී ගැනීම තහනම් කෙරෙන ශ්‍රී ලංකාවේ නීතිකඩකරමින් ඊ.ටී.අයි සමාගමේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීම සඳහා ගැසට් නිවේදනය මඟින් බලය පවරා ඇති බව සඳහන්.

මෙම කොමිසමේ නිර්දේශ ඇතුලත් වාර්තාව මාස 3 ක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදිය යුතු බවයි අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img