පොදු මගී ප්‍රවාහනයේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට, කොත්මලේ – ගැරඬිඇල්ල බස් රථ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් කමිටුව තීරණය කර තිබේ. ඒ ඊට අදාළව ඊයේ සිදුකළ මූලික විමර්ශන වලින් පසුවයි.
ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව ඊයේ මෙම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.
ඔවුන් අනතුර සිදුවූ ස්ථානය මෙන්ම ප්‍රතිකාර ලබන රෝගීන් හමුවටද ගොස් ප්‍රකාශ ලබාගත් අතර බස් රථය ද පරීක්ෂා කරනු ලැබීය.
අදාළ බස් රථයේ රිය සහයකද සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමටයි මෙම කමිටුව කටයුතු කළේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මියගිය රියදුරුගේ පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙන්ම මෝටර් වාහන පරීක්ෂකවරයාගේ සහ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ද අවශ්‍ය බවයි කමිටුව සඳහන් කළේ.
මෙවන් අනතුරකදී සාමාන්‍යයෙන් රියදුරාට නඩු පැවරෙන අතර මෙහිදී රියදුරු මියගොස් ඇති බැවින් සිද්ධියට අදාළව වෙනත් වගකිවයුත්තන් සිටීද යන්න පිළිබඳවද කමිටුව සොයා බලයි.